ප්‍රවීණ ගී පද සාහිත්‍යවේදියෙකු, කවියෙකු, නවකතාකරුවෙකු, පුවත්පත් කලාවේදියෙකු වූ අජන්තා රණසිංහ යනු රූපකායෙන් වැඩිහිටි එහෙත් කෙළිලොල් පෙනුමකින් යුක්ත වූ, අපූර්ව මිනිසෙකි. ඔහු ගේ ඇඳුම් පැලඳුම් භාවිතය, කොණ්ඩය පීරා තිබුණු ආකාරය, කතාබහ විලාසය ඔහුට ම අනන්‍ය වූ සදාකාලික තාරුණ්යකින් යුක්ත විණි. ඉතාම සක්‍රීය පුද්ගලයෙකු වශයෙන් හැසිරෙන ඔහු වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ නිර්මාණ රාශියක් ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් රචනා වී තිබීම එක් අතකින් පුදුමයක් නො වේ. ඔහු තුළ සදාකාලික තාරුණ්‍යයක් සහිත නිර්මාණකරුවෙක් ජීවත් වූයේ ය. ඒ නිසා ම මෙරට ගී පද සාහිත්‍ය රසකාමීන්ට මධුර ගීතාවලියක් රස විඳීමේ දුර්ලභ අවස්ථාව ද හිමිවිණි. සරල, යහපත් මිනිසෙකු ලෙස ඔහු විසින් රචිත ගී පද රැස මෙරට සිංහල ගීත වංශයේ සුවිශේෂ කඩඉමක් සලකුණු කරන බව අවිවාදිත ය.
පණ්ඩිත් අමරදේවයන් ගේ සිට නූතන ගායන ශිල්පියා දක්වා වූ පරම්පරා ගණනකට ගී පද රචනා කිරීමේ හසළ කුසලතාවක් ආචාර්ය අජන්තා රණසිංහයන්ට තිබිණි. එය නොසිඳුණු ප්රතිභාවකි.
අද්‍යතන සිංහල ගීත වංශය දශක කිහිපයක් තුළ ගොඩනැඟුණු විශිෂ්ට සාහිත්‍ය ධාරාවකි.
50 දශකයෙන් පමණ පසු වඩාලාත් නූතනකරණය වූ එය පරිණත සාහිත්‍යවේදීන් අතින් ක්‍රමයෙන් පරිණාමයට පත් වූ බව කිය හැකි ය. රාජකීය සහ ආගමික මූලයෙන් විදග්ධ මුහුණුවරකට ලක්කර තිබුණු නිර්මාණාත්මක සිංහල භාෂාව සරල, බහුජනප්‍රිය නූතන භාෂාවක් බවට පත්වූයේ සමාජ දේශපාලනික ක්‍රියාවලියකට ද හසුවෙමිනි. ඊට බලපෑ විවිධ සමාජ මූලයන් තිබේ.
සිංහල ගීතය විෂයයෙහි මෙලෙස බලපා තිබෙන භාෂාත්මක සමාජ යථාර්ථය පිළිබඳ මූලික අදහසක් ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කෙරුණු ගී පද රචනා සමූහය ගැඹුරින් විශ්ලේෂණය කරන විට අවබෝධ කරගත හැකි ය. ඔහුගේ ගී පද රචනා විචිත්‍ර ය. විවිධ ය. අර්ථපූර්ණ ය. සරල ගීතය මෙන් ම සිනමා ගීතය ද ඔහුට අතැඹුලකි.
දෙන ලද හෝ සිතන ලද ප්‍රස්තුතයක් ගී පද රචනයක් බවට පරිවර්තනය කරගැනීමේ සියුම් නිර්මාණාත්මක පරිචය ඔහුට නොමඳ ව පැවතිණි. ගැමි සහ නාගරික පරිසරයන්හි තුලනාත්මක ව විසීමෙන් ලද ජීවන අත්දැකීම් ද ඇතැම් විට ඊට පිටිබල දෙන්නට ඇත.
පුරාතන පෙරදිග රාජ කුමාරිකාවන් ගේ සංස්කෘතික සම්ප්‍රදායට අයත් ‘ස්වයංවරය’ වැනි තේමාවක් අළලා නූතනවාදී ගී පද පෙළක් රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයෝ ඔහුගේ භාෂා අධිපතිත්වය පිළිබඳව අපට කදිම නිදර්ශනයක් සපයා තිබේ.
මංගල මල්දම පතා හිඳිමි මම
මට නොවෙද ළඳේ වත මනකල්
උකුළු මුකුළු පෙම – මුකුළු පෙම …
මංගල මල්දම පතා හිඳිමි මම
මට නො වෙද ළඳේ නෙත නිලුපුල්
සලිත ලලිත පෙම – ලලිත පෙම …
කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පලඳනවයි කීවා
දුර නඳුුන්වනේ දේව ළඳුන් ආවා
මට මල්සර ගේ දුන්න අරන් ආවා …
කිඳුරු ලතාවිය
දිවිය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම්
ඔබ දේහ සුරූපය …
සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දා ගෙන එන්නම්
රන් මිරිවැඩි රන් කසීසළුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
පොකුරු සිනාවයි
දෑස ඉනාවයි
ගත සුවඳ කොකුම් බිඟුරොන්
හද ගීත ලතාවයි …
මෙලෙස සම්භාව්‍ය භාෂාවේ එන යෙදුම් වඩාලාත් සරල භාෂා ආකෘතියක් තුළ බහා, තරුණ කුමාරවරුන්ගේ තේජස තත්ත්වාකරයෙන් නිරූපණය කරන ආචාර්ය අජන්තා රණසිංහ, සිංහල භාෂාවේ තිබෙන විභවතාව කදිමට ප්‍රකට කරයි.
මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියාට ‘මේ මැයි ගහ යට දවසක් දා’ යනුවෙන් තමන් ගේ අතිපෞද්ගලික අත්දැකීමක් රචනා කරන්නේ ද, ඒ අජන්තා රණසිංහයන් ම ය.
‘කුරුම්බැට්ටි මැෂිමේ’ නමින් ළමා ගීතයක පදවැලක්, කරුණාරත්න අබේසේකරයන් ගේ ‘ළමාපිටිය’ වැඩසටහනට සහභාගි වන සමයේදී ම රචනා කළ යෞවන වියේ සිටි අජන්තා රණසිංහ පසුකාලීන ව රන්කෙන්දෙන් බැඳ විකසිත පෙම් පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට මේ, සිරිමහ බෝමැඩ, ආශා නිරාශා මැවූ, මල්ලියකම් රැඳි, මල් පොකුරු පොකුරු, ඉතින් ඊට පස්සේ, ආදර සැමරුම්, සංගීත මඬලේ, කල්පනා ලොව මල්වනේ, මුව මුක්තා ලතා, දේදුන්නෙන් එන සමනලුනේ, වීදි කොණේ මාවත අද්දර, කිරි කවඩි සිනා, හන්තානේ කඳුමුදුන සිසාරා, මල්ලිකා කියා රැවටිලා, පුංචි ගෙලට පෙති ගෝමර, සුවඳ දැනී දැනී, ඉඳුනිල් ගඟුලැල් වැනි ජනප්‍රිය ගීත රැසක ගී පද රචනා කළේ ය.
තිලකරත්න කුරුවිටබණ්ඩාර, කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රාමාණිකයන්ගේ එක පාසල් පන්ති සගයෙකු වූ ආචාර්ය අජන්තා රණසිංහයෝ 1971 වර්ෂයේදී ගී පද රචනා පොතක් ලියා පළ කර, ‘විකසිත පෙම්’ නමින් තවත් කෘතියක් 1975 වර්ෂයේදී රචනා කළ හ.
වෘත්තියෙන් ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සේවය කළ ඔහු 2016 පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත වූයේ ය.
– දීපානි –
Source – සිළුමිණ
රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත්කුමාර රණසිංහ යැයි කියූ පමණින් කිසිවකුත් නොහඳුන එහෙත්, අජන්තා රණසිංහ යැයි කියූ පමණින් නොහඳුනන කෙනෙක් නැති ඔහු 1940 මැයි 30 වන දින කුරුණෑගල තලම්මහර නම් පිටිසර ග්‍රාමයේ දී මෙලොව එළිය දකින්නේ සුභාවිත සිංහල ගීතය පෝෂණය කිරීම සඳහා වන ප්‍රතිභා ශක්තිය ද මිට මොළවාගෙන ය. වසර හැත්තෑහයක සිය දිවි සැරිය තුළ ඔහු විසින් විරචිත මියුරු ගීතාවලිය ඒ බව අපට මැනවින් සනාථ කොට තිබේ.
වසර හතළිහක් තරම් දීර්ඝ ඔහුගේ නිර්මාණ ජීවිතයේ දී ඔහු සිනමාපට හැටකට පමණ ගීත රචනයෙන් දායක වී ඇති අතර, එදා මෙදා තුර ඔහු විසින් විරචිත ගීත සංඛ්‍යාව ගීත හයසියයකට අධික ය.
පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කුඩා අජන්තා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. තරුණවියට පත් අජන්තා රණසිංහ විවාපත් වූයේ ද සංගීත පවුලකට අයත් සුන්දර යුවතියක සමඟ ය. ඒ, එවක අතිශය ජනාදරයට පත් ගායිකාවක වූ කෝකිලදේවී වීරතුංගගේ දියණියක වන සරෝජනී වීරතුංග සමඟ ය.
අජන්තා රණසිංහයන් ගීත රචනා කලාව ආරම්භ කරන්නේ එවකට කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලියට නිෂ්පාදනය කළ ළමා මණ්ඩපයට බොදු බැති ගීයක් රචනා කරමිනි. ඒ වකවානුවේ දී ම ඔහු ප්‍රවීණ සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ගුවන්විදුලියට නිෂ්පාදනය කළ ‘රේඩියෝ සඟරාව’ට ද සහභාගී වී තිබේ.
අජන්තා රණසිංහයන් අප හඳුනාගෙන සිටින්නේ ගීත රචකයකු ලෙස ය. එහෙත්, ඔහු කවියකු, කෙටිකතාකරුවකු, පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ ක්‍ෂේත්‍රවල නියැලෙමින් දස්කම් විස්කම් පෑ කලාකරුවෙකි. ‘හොඳ ගීත රචකයකු වීමට පෙර හොඳ කවියකු විය යුතු ය’ යන කියමන සනාථ කරමින් මුල් කාලයේ සිට ම කාව්‍යකරණයේ නියැලුණු ඔහු සිය ප්‍රථම කවි සරණිය ‘තිවංක රේඛා’ නමින් එළි දක්වන්නේ 1964 වසරේ දී ය.
ඊට අමතරව ඔහු ‘සිළුමිණ’, ‘පෙරමුණ’ වැනි පුවත්පත්වල ළමා අතිරේක සඳහා කවි, කෙටිකතා සම්පාදනය කරමින් මෙරට ළමා පරපුර සාහිත්‍ය රසාස්වාදයෙන් ඥානනය කළේ ය. ඒ අතර ඔහුගේ කවි ‘සිළුමිණ’, ‘වනිතා විත්ති’, ‘ලංකාදීප’ වැනි පුවත්පත්වල ද නිතර ම පාහේ පළවී ය.
ඔහුගේ පුවත්පත් කලා ජීවිතය ආරම්භ වූයේ, ඔහු ‘දිනමිණ’ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස තෝරාගැනීමත් සමඟ ය. ඉන්පසු එහි උප කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, අතිරේක ප්‍රධාන උප කර්තෘ, ප්‍රධාන උප කර්තෘ, විශේෂාංග කර්තෘ ලෙස උසස්වීම් ලද ඔහු, අවසානයේ ‘නවයුගය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවී ය.
ඔහු මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් සඳහා ගීත රචනා කිරීම ආරම්භ කරන්නේ පුවත්පත් කලා ජීවිතයෙන් වසර තිහකට පමණ පසුව ය. ඔහු එසේ රචනා කළ ගීත රසිකයන් අතර බෙහෙවින් ජනාදරයට පත් වූ අතර, ‘සරසවි’, ‘ධක්‍ෂක්’, ‘රාජ්‍ය සාහිත්‍ය’, ‘රයිගම්’, ‘සුමති’ සහ ‘කුමාරතුංග මුනිදාස අනුස්මරණ’ ආදී මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබී ය. කෘතහස්ත ගීත රචකයකු ලෙස ප්‍රකට අජන්තා රණසිංහයන් ගුවන්විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායකයකු බව බොහෝදෙනෙක් නොදනිති.
1976 වසරේ තිරගත වූ ‘වාසනා’ සිනමාපටයෙන් ආරම්භ වූ ඔහුගේ සිංහල චිත්‍රපට ගීතාවලිය චිත්‍රපට තුන්සියයක් පමණ දක්වා විහිද ගියේ ය. ‘වල්මත් වූවෝ’ (1976), ‘දුහුළු මලක්’ (1976), ‘ආශා’ (1976), ‘හරියට හරි’ (1976), ‘නෑදෑයෝ’ (1976), ‘පෙම්බර මදූ’ (1977), ‘ඇගේ ආදර කතාව ’(1977) ‘ජනක සහ මංජු’(1978), ‘සාරා’(1978), ‘දීපාංජලී’(1978), ‘සසර’(1978),‘ගැහැණියක්’(1979) ‘අමල් බිසෝ’(1979), ‘මුවන්පැලැස්ස’(1979), ‘වසන්තයේ කුණාටුවක්’(2001), ‘කුමරි බඹසර හැඬූ දා’(2001), ‘සීතල ගිනිකඳු’(2002), ‘මඟුල් සක්වල’(2002), ‘වෑලා ඉන් ලන්ඩන්’(2003), ‘සුදුසළු’(2003), ‘සුමේධා’(2004), ‘ලෙෆ්ට් රයිට් සර්’(2004), ‘ප්‍රේමවන්තයෝ’(2004) ‘සඳුනි’(2005), ‘අළු යට ගිනි’(2005), ‘එක මලක පෙති’(2006), ‘නිලම්බරේ’(2006), ‘රණහංසි’(2006), ‘රන් කෙවිට’(2007), ‘ෆස්ට් ලව් පූජා’(2007), ‘වැඩ බැරි ටාසන් මැති සබයට’(2008), ‘පිටසක්වල කුමාරයයි පැංචො හතයි’(2008), ‘ඇයි ඔබ තනිවෙලා’(2008), ‘අලි සුරතල්’(2009), ‘ජූලියා’(2009), ‘කන්‍යාවී’(2009), ‘වස්සානයක සෙනෙහස’(2012), ‘රාස්ස කැලේ’(2014), ‘සංජනා’(2015), ‘ආත්ම වරුසා’(2015) යන සිනමාපට ඒ අතර වේ.
‘තිවංක රේඛා’ කුළුඳුල් කවි සරණියෙන් ආරම්භ වූ ග්‍රන්ථකරණය පිළිබඳ ඔහුගේ ශක්‍යතාව ‘තුන්පත් රටා’, ‘ජනකාන්තයින්ගේ මනකාන්ත කතා’, ‘ළඳුනි මට වරම් නැත’, ‘වින්කල් බාස්’, ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව !’, ‘සිහින කුමරා සහ ඔතාමෝ’ වැනි කෘති රැසක් දක්වා විහිද ගියේ ය.
පරම්පරා කිහිපයක ගායක ගායිකාවන් රැසක් සඳහා ගීත රචනා හාරසිය ගණනක් පමණ වෙනුවෙන් සිය ගී උල්පත අවදි කර ඇති ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ ගී රචනා තවත් චිරාත්කාලයක් සුභාවිත සිංහල ගීතයට ආදරය කරන රසික ජන මන පුබුදුවන බව අපට දිනෙන් දින තහවුරුවන්නේ ඔහු අප හැරගොස් ඇතත්, ඔහුගේ රසිකයන් තවමත් ඔහු බුහුමනට පාත්‍ර කරමින් සිටින හෙයිනි.
– අනුර බී. සෙනෙවිරත්න –
සංස්කරණය – රුවන් ජයවර්ධන
Source – දිවයින
Ajantha Ranasinghe
Comment