Lyrics
හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් //
…
සයුර ඉම ලත් සිතිජ රේඛාවේ මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා …….. අද තනිවෙනා මොහොතින්
හදේ කොතැනක හෝ හිදී ඔබ …..
උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්
හදේ කොතැනක හෝ හිදී ඔබ …..
Hade Kothanaka Ho Hidi Oba Nida Nonida Lyrics – Sunil Edirisinghe
1 Comment
Leave a Reply
You must be logged in to post a comment.


බොහෝ කලෙකට පසු ඔබ දකින්නට ලැබුණේ අහම්බෙන් මෙන්ය. නොදුටූ සේ හැරී යන්නට සැරසුණත්, මා නම කියා අමතනු ලබනු ඇසීමෙන් මඳක් පසුබට වුණෙමි. ඔබ මට අඬ ගසනු සිහිනයකින් මෙන් මට ඇසිණ. මළ හිරු බසින විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන කලකදී මෙන් මා අඳුරේ හොවා ඔබ ඉවත්ව ගිය’යුරු මා සිත හරහා ඇඳී යයි. ඉන් සිඳිණු, මඩිනු ලැබූ සිත සිය වරක් ඉකි ගසා හැඳුවේ මා කාත් කවුරුත් නැති දුරු රටෙක තනි වූ මොහොතේදීය. ඔබ හදවත කොණෙක තවමත් සැඟව ඇති බව මට වැටහුණේ එවිටය! ඔබ ගැන වූ ප්‍රේමණීය හැඟුම් මියගොස් ඇතැයි සිතුවෙමි. නමුත් ඒවා නිදාගෙන වත් සිට නොමැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඔබේ මඳහස් රෑනින් පිබිදී, මෙතෙක් කල් මා ගෙවූ සුව දැහැනින් මුදවා මා පෙළයි. එනමුත්, ඔබ නැවත වෙන්වී යනු ඇත. මේ අහඹු මිනිත්තු කීපයෙන් පසුව එළඹෙනු ඇත්තේ අති දීර්ඝ නිහැඬියාව, අඳුර, පාළුව සහ හිස් කම පමණෙකි. ඔබට පුදකල ඒ උතුම් පෙම පිළිණ කොට, ඔබ හා මා එකව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඔබ වෙන්ව යා යුතුය. මා නෙතෙහි ඔබ වෙනුවෙන් නැගුනු කඳුල වියළී යන්නට පෙර යදින්නේ, මා තනි කරදා, මගේ මතකයෙන් මැකී යන ලෙසය. අඳුරට, පාළුවට, තනිකමට සහ නිහඬතාවයට මා හද අරක්ගෙන සිටීමට එවිට හැකිවේවි.
සුනිලුන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිත කීරිගස්වන අයුරින් ගෙන් එන ගීයකි මේ. සපු විසින් වචන යොදන්නේ ඉතාම පරිස්සම් සහගතවය. මුළු ගීතයම “ජීවිතයෙන් පෙත්තක්” ලෙස හඳුන්වන කෙටි කතාවක ශෛලිය බඳුය. ඉතාම සුළු සිද්ධියක් පාදක කොට කෙන සිතුවිලි සමුදායක් එක පිට එක නැග එන අන්දම සපු මනාව දක්වා සිටිට්යි. ගීය පුරාම දැවෙන්නේ අවිනිශ්චිතභාවයයි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකදැයි ඔහු නොදනියි. එසේම සිතිවිලි අවදි වෙන්නටද කල්යල් බලමින් සිටියි. ඒවා අවදි වන්නේද තනි වෙනා මොහොතේදීය. තනිවීම යනු හුදෙකලාව පමණක්ම නොව, දුර්වල වන අවස්ථාවක යන්නද සිතිය හැකිය.
මේ ගීතය පෙම් විරහවෙන් තැවුණු, අමතක කල නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු ගීයෙකි, මෙහි භාවය ඒ තරම්ම ශක්තිමත්ය.
source : geerasavinisa.blogspot.com