Lyrics
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ
මේ පොඩි ඇදුම වියන්නේ
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
දිලිසෙන ඇදුම වියන්නේ……
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
සීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ
Sannaliyane – W. D. Amaradewa
මෙම ගීතය සරෝජිනී නායිදු නම් කිවිඳිය විසින් රචිත “Golden Threshold” කෘතියේ “Folk Songs” යටතේ දක්වා ඇති “Indian Weavers” නැමති කවි පංතියයි. මහගම සේකර ශූරීන් විසින් ඉහත කවි පංතිය අධ්‍යයනය කොට ලාංකීය සමාජයට ගැලපෙන සහ සමාජගතවන අයුරින් යම් වෙනස් කම් කොට රචිත ගීතයයි “සන්නාලියනේ”. ගීතය දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරයි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ…..
උදය යනු දවසේ ආරම්භයයි. හිමිදිරි උදය යනු නැවුම්, අලුත් දිනයක ඇරඹුමයි. ඔවුන් සන්තොසයෙන් ඇඳුමක් වියයි.මේ හිමිදිරි උදයේ මෙතරම් සන්තෝසයෙන් කවුරුන් වෙනුවෙන් මේ ඇඳුම වියන්නේ දැයි රචකයා විමසයි. මෙහිදී ජීවිතය, ජීවිත ගමන, එලැඹී ගෙවී යන එක් දිනයකට උපමා කිරීමද දැකිය හැක. “සන්නාලියනේ… සන්නාලියනේ..” යැයි දෙවරක් යෙදීමෙන් ප්‍රශ්ණය අසන්නා තුල සන්නාලියන් දැකීම නිසා ඇතිවුනු උද්යෝගය කෙතරම් වීදැයි ඇඟවීමට යොදන අතර, “හිනැහී… හිනැහී…” ලෙස දෙවරක් යෙදීමෙන් ඔවුන් කෙතරම් සතුටින් පසුවන්නේදැයි පෙන්වයි.
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ…
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ…
ඊයේ ඉපදුනු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ…..
“Blue as the wing of a halcyon wild” ලෙස නායිදු විසින් ලියන ලද පද පෙල අපට වඩාත් සමීප වනු පිනිස, පිලිහුඬුවා ගේ නිල් වන් අත්තටු යන යෙදුම සේකරයන් විසින් මාලගිරා තටු ලෙස වෙනස් කරයි. මෙය හුදෙක් පරිවර්තනයක් පමනක් නොවන බව දැක්වීමට එක නිදසුනකි.
සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ
කාලය ගෙවී ගොස් ඇත. ඉපැදුනු දූ සිඟිත්ත දැන් යෞවනියකි. මෙය උපමා කරන්නේ උදය ගෙවා හමාර කොට සන්ධ්‍යාවට එලැඹුනු දවසක් ලෙසිනි. කාලය සමඟ ජීවිතය එතරම් ඉක්මනින් ගෙවී යයි. ඇයගේ යෞවනත්වය, සුන්දරත්වය සහ ඇයගේ මංගල ඇඳුමේ සුන්දරත්වය සමාන කරනුයේ, බැසයන හිරුගේ රන්වන් පැහැයෙන් ඔවපත්වූ අහසටයි.
මෙහිදීද “Like the plumes of a peacock, purple and green” යන පදපෙල වෙනස් කරමින් මොනර පිල් වල වර්ණ (දම්, කොල ) වෙනුවට අපට වඩාත් දැනෙනු පිනිස අපේ රටේ විවාහ වලදී මංගල ඇදුමේ වර්ණය ලෙස බොහෝ විට යොදාගන්නා රන්වන් පැහැය යොදා ගැනීමත් මෙම ගීතය අපට තවත් සමීප කරවීමට ඉවහල් වී ඇත.
සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එලියේ
මැලවුනු මුහුනින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ
“White as a feather and white as a cloud” යන පදය හුදෙක් සුදුපැහැ කුරුළු පිහාටුවක් නොකියා කණකොක් තටුවේ සුදුමැලි පාටට උපමා කරන්නේ කණ කොකා නම් පක්ෂියා ලාංකේය සමාජයේ අවාසනාව ගෙන එන සත්වයකු ලෙස ඇති පිලිගැනීම පදනම් කර ගනිමිනි.
දිනය ගේවී ගොස් ඇත. දැන් ගෙවෙන්නේ සීතල රාත්‍රියයි. මරණය, එහි ඇති මලාණික බව, විචිත්‍රවත් බවින් තොර බව, සන්තාපය, පිලිබිඹු කිරීමට යොදා ගන්නා සීතල රාත්‍රිය, සුදු සඳ එලිය මෙම ගීතය වර්ණවත් කරවයි. අවසානයේ ඉතිරිව ඇත්තේ දුකක් පමණකි. එදා ඔව්න්ගේ මුහුනෙහි තිබූ සිනාවත් විවීමට තිබූ උද්යෝගයවත් අද නැත. අද ඔවුන් මැලවුනු මුහුනු වලින් වෙවුලන දෑත් වලින් වියමනේ යෙදෙයි. මෙතෙක් වේලා ඇඳුම ලෙස යෙදූ යෙදුමද කවියා සළුව වශයෙන් වෙනස් කරයි.
අප කරනුයේ ද සන්නාලියන් කරන දේම නොවේද. මෙය හුදෙක් අප විසින්ම අපෙන් ම අසන පැණයක් බඳුය. අපත් සන්නාලියන් ලෙසම උපන්දා සිට ජීවිතය නැමති සළුව වියයි. හැඩ වැඩ දමමින්, වියමන දෙස බලමින් සතුටු වෙමින්, ආඩම්බර වෙමින් මේ වියන්නේ අවසානයේ අතහැර යන ජීවිතය නැමති සළුවයි.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත්කොට ඔහුගේ අසමසම වූ හඬින් ගායනා කරනු ලබන මෙම ගීතය එවකට අපට අඩුවක් ව පැවති අපේම වූ නිර්මාණ කලාවක් බිහි කිරීමට දායකවූ එක් වටිනා ගීතයකි.
පහතින් දැක්වෙන්නේ සරෝජිනී නායිදු විසින් රචිත මුල් කවි පංතියයි.
Indian Weavers
Weavers, weaving at break of day
Why do you weave a garment so gay
Blue as the wing of a halcyon wild
We weave the robes of a new-born child
Weavers, weaving at fall of night
Why do you weave a garment so bright
Like the plumes of a peacock, purple and green
We weave the marriage-veils of a queen
Weavers, weaving solemn and still
What do you weave in the moonlight chill
White as a feather and white as a cloud
We weave a dead man’s funeral shroud
source : geepothaimeewithai.blogspot.com