Lyrics
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
බොලඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරි සරමු අපි
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ඔබේ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතු නොපැතු ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැඳී
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
Dura Aetha atha etha Atheethaye athithaye- Chandrasena Hettiarachchi
දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්… කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්… ඒත්… ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක් ඈතට අරගෙන යන්න විතරයි.
දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්…
මේ පරාජිත පෙම්වතාත් ඒ විදිහට මතකය ඈත අතීතයට ගෙන යනවා. ඔහුගේ ප්‍රේමය අද වෙද්දී බිඳිලා. ඒත් හිත ආසා කරනවා ඈත අතීතයට යන්න. ඒ තනිව නොවේ. අහිමි වූ පෙම්වතියත් සමගින්. එහෙම අතීතයට ගිහින් වෙන්වූ තැනින් යළි ආදරය පටන් ගන්න ඇත්නම්.
චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගයන මේ ගීය රචනා කළේ හෙසලා ගුණතිලක. යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා. අපි මීට කලිනුත් ඔහුගේ ගී පද වැලක අරුත් දිගහැරියා.
“මම මේ ගීය ලියුවේ අසූතුනේදී විතර. එතකොට මමත්, අම්මාත්, මල්ලීත් මහගෙදර පදිංචිවෙලා හිටියේ. එක දවසක් පාසල් ඇරෙන වේලාවක මල්ලි මගේ කාමරයට ඇවිත් මේක අරයා දෙන්න කිව්වා කියලා මට පාර්සලයක් දුන්නා. දීලා සවුත්තුවට හිනාවෙලා මල්ලි යන්න ගියා. උපන්දින සුබ පැතුමක් සමග පුංචි සිහිවටනයක්, රස කැවිල්ලක් ඒ පාර්සලයේ තිබුණා. මම ඔයාට තවමත් ආදරෙයි කියලා මට නුහුරු නොවන අත් අකුරින් ලියූ කොළ කෑල්ලකුත් තිබුණා. මට ඉබේම ඒ කොළයේ අනෙක් පැත්තේ “අර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්… ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්…” කියලා ලියෑවුණා.
ඔබ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී
නොසිතුව ලෙසකින් අපේ සිත් අතර ගැටුමක් ඇතිවුණා. ඒ නිසාම අපි දෙන්නගේ සිත් දෙලොවක සිරවුණා. ඒත්… ඒත්… අපේ ඒ ආදරය මගේ හදවත පතුලේ තාමත් රැඳිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ ගැන… මා ගැන… අපි ගැන මගේ හිතේ සිහින උපදින්නේ.
හෙසලා යළි ගීය ගැන මෙහෙම කිව්වා. මගේ නිර්මාණ ජීවිතයේ මුල් ගුරුවරිය වගේම විචාරකයා මගේ ආදරණීය අම්මා. සිංහල භාෂාව ගැනත්, සාහිත්‍ය ගැනත් හසල දැනුම් ඈ සතුයි. ඇගෙන් සෑහීමකට පත්විය හැකි වචනයක් අහන්න අමාරුයි. මම ලියපු පදවැල අම්මට පෙන්නුවා. ඈ එදා කීවා “අද නං පුතා අලුත් විදිහකට හිතල ලියලා කියලා…”
මගෙත් චන්ද්‍රසේනගේත් මිත්‍රත්වය ඇරැඹුණේ මේ ගීයෙන්. මගේ ගීත එකතුවක් මගේ මල්ලිගේ මිතුරෙක් විසින් චන්ද්‍රසේනට පෙන්වා තිබෙනවා. ඔහු “අර ඈත අතීතයෙ” ගීය තෝරා ගත්තා. අර ඈත කියන වචනය චන්ද්‍රසේන දුර ඈත කියා වෙනස් කර ගායනා කරනවා. එදා මගේ ගීත චන්ද්‍රසේන අතට පත් කළ මල්ලිගේ යාලුවා කුමුදු මල්ලී… උප පොලිස් පරීක්‌ෂකයෙක් ලෙස යුද්ධයේ ගොදුරක් බවට පත්ව රට ජාතිය වෙනුවෙන් දිවි පුද කළා. මල්ලී අද පාදුක්‌ක රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා.
බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ… සැරිසරමු අපී…
මේ පෙම්වතා යථාර්ථවාදීව හිතන්නෙක්. ඔහු දකින්නේ කවදාවත් සැබෑ නොවන බොළඳ හීනයක් බව දන්නවා.
“ඒත් ඊළඟ මොහොතේ යළිත් ඔහු බොළඳ වෙනවා. මට ආයෙත් ඔයාව දකින්න ආසයි. ඒ නිසා ඒ සිහිනෙන් මිදෙන්නේ නැතිව අපි සිහිනය තුළම සැරිසරමු…” කියා ඔහු කියනවා.
විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්‌මවා ගිය ස්‌වරූපයක් මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක් ඉටු කරනවා.
අජිත් අලහකෝන් Divaina