Lyrics
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි
දුවේ නුඹ මගෙ …
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි
ගෙනියන්නෙ ඒ අභිමානයයි
දුවේ නුඹ මගෙ …
Duwe duve දූවේ Nuba numba Mage Pranayai – Sunil Edirisinghe Edirisingha
මේ ගීතය අලුත්ම තේමාවක් ඔස්සේ රචනා වුනු ගීතයක්. බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පද රචනයකට රෝහණ වීරසිංහයන්ගේ සංගීත පාවඩ මතින් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීතයක් . දුවගේ මංගල්‍යය දවසේ පියා ගේ අදහස් දැක්වෙන ගීතයක්.. මේ ගීතය සඳහා මුල් වුනු හේතුව බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ වචන වලින්ම තේරුම් ගමු ..
“මේ ගීතය මා අතින් රචනා වෙන්න හේතු කාරණා ගොඩක් නෑ.. එකම එක හේතුවක් තිබුණා.. DSI ආයතනයේ නන්දදාස රාජපක්ෂ කියන රසවතා මාත්එක්ක නිතර කතාකරනවා ඉතින් ඔහුගේ දුවගේ විවාහයෙන් පස්සේ මට කතා කරන දවසක මගෙන් ඇහුවා .. මගෙ දුවගේ මගුල් ගෙදර දවසේ ඔය සිංදු වගයක් දැම්මා හැබැයි මට දුව ගැන කිසිම හැගීමක් ඇති වුනේ නෑ .. ඒක හින්දා අපිට බැරිද දුව තමා පරම්පරාවේ ආඩම්බරය කියලා කියවෙන ආකාරයේ ගීතයක් රචනා කරන්න .. කියලා . මටත් ඉන්නේ දුවලා දෙදෙනෙක්. මේක මටත් දැනුනා ඊට පස්සේ මම මේ ගීතය රචනා කරන්නට උත්සාහා කලා. එහිදී මට තේරිච්ච එක දෙයක් තමයි, ඉස්සර අපේ ගම් වල මගුල් තුලා තියෙන්නේ ගෙවල්වල. හුගක් වෙලාවට ඒව කවුරු හෝ මාර්ගයෙන් දැන හැදුනුම්කම් හදාගෙන කථා කරලා කරන විවාහ. ඒ විවාහයට එන මනමාලිය හා මනමාලයාට වැඩිය හම්බ වෙන්න ඉඩකඩක් නෑ. හම්බ වෙන්නෙත් දෙමාපියන්ගේ අණසක යටතේ. ඒක නිසා මේ දෙපාර්ශවය එකතුවෙන දවසට හුඟක් දේවල් කථා බහ වෙනවා. අලුත් නෑදෑ පාර්ශවය පිළිබඳව කථා බහ වෙනවා . කෑම මේසෙන් පස්සේ අවවාද අනුශාසනා කෙරෙනවා , කථා බස් කෙරෙනවා , ජීවිතයට මුහුණ දෙන්න ඕනෙ කොහොමද කියලා වැඩිහිටියෝ කවි වලින් ගාථා වලින් මේ මනමාල යුවලට උපදෙස් දෙනවා . එහෙමයි ඒ කාලෙ මංගල කටයුතු සිද්ධ උනේ. වර්ථමානයේ ගම් වලත් දැන් මංගල කටයුතු සිද්ධ වෙන්නේ හෝටල් වල. ඊට පස්සේ යම් යම් දේවල් පානය කරනවා , විශාල බෑන්ඩ් එකක් ගෙන්නලා නටන්න පටන් ගන්නවා , නැටුම හමාර උනාට පස්සේ වෙලාව ලං වෙනවා , ජෝඩුව පිටත් වෙනවා . ඉතින් මුලදී අපේ ගම් වල තිබිච්ච මේ බැදියාව සහමුලින්ම තුරන් වෙලා තියනවා. ඒක නිසා ඒකත් මට මේ ගීතය රචනා කරද්දි හිතුනා . මේක තමා දියණියකට අවවාදයක් දෙන්න සුදුසු හොඳම වෙලාව, දියණිය පිටත් වෙලා යනවිට දියණියට ගැයෙන ගීයක් . දියණියට ඇති වෙනවා හැඟීමක් මම කවුද කියන එක .. ”
මේ ගීතයේ තනුව නිර්මාණය කළ රෝහණ වීරසිංහයන්ට දුවක් නැති උවත් ඔහු අපූරු තනුවක් පටබැදලා තියනවා .. ගායනා කරන සුනිල් එදිරිසිංහයන්ට දුවක් සිටින නිසා වෙන්න ඇති ඔහු මේ ගීතය ඉතා හැගීම්බරව ගායනා කරන්නේ ..
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ උන සුභ සිහිනයයි
සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
තාත්තා කෙනෙකුට තම දියනිය තම පන වගේ .. ඒ වගේම “සැබෑ උන සුභ සිහිනයයි” සෑම පියෙක්ම ගැහැනු දරුවෙක්ව හදන්න සිහින දකිනවා . කොහොමත් පියෙකු පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවට තමා වැඩියෙන්ම ආදරේ .. මේ දියනිය විවාහයක් කරගෙන යන්න හදන මොහොතේ මේ අරගෙන යන්නේ දුව විතරක් නෙවේ .. පරපුරේ අභිමානය තමා මේ අරගෙන යන්නේ .. දියනිය හොඳට හැදුනු දරුවෙක් කියලා තමා මේ කියන්නේ ..
මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි
මල් වැස්සට තෙමෙනකොට පෙති කඩාගෙන වැටෙනවා .. තද හිරු රශ්මියට වියලී යනවා .. අන්න ඒක නිසා තමා දරුවන් මලක් වගේ හදන්න එපා කියන්නේ. දරුවාට දුක , ජීවිතය දැනෙන්න ඉඩ ඇරලා හැදුවේ නම් , නියමිත වයසට එන විට දුක ජය ගන්නා ආකාරය අමුතුවෙන් කියාදෙන්න ඕනෙ නෑ ..මලක් වගේ හැදුවොත් කටුක අද්දැකීම් දරාගැනීමට අපහසු වෙනවා ..”දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි ” හැබැයි මලක් වගේ හැදුවෙ නැති නිසා නුබ දුක දිනන හැටි ඉගෙනගෙන තියනවා ..
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි
පියා දුවට තම විවාහ ජීවිතය සාර්ථක කරගන්න උපදෙස් දෙනවා මේ විදිහට .. මිල මුදල් හා නිල බල වලට ජීවිතය සාර්ථක කරන්න බෑ ..ඒක තාවකාලික සතුටක්.ඊට වඩා තමා පෙර කළ හොඳ තමා වයසට යනවිට ඉතිරි වෙන්නෙ ..
අප මී මුතුන්මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය හෙලා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
අතීතයේ විවාහයට ප්‍රථම කාන්තාවක් තම චරිතය පණ මෙන් ආරක්ෂා කළා .. විවාහයට පෙර ජීවිතය නිවැරදිව ගත කළ කාන්තාවක් යනු පරපුරේ ගෞරවයක් .. “සිය ලේ කඳුළු දහඩිය හෙලා ” යන පේලියෙන් රචකයා උත්සාහ කරන්නේ නිවැරදිව ජීවිතය ගතකළ ගැහැනියකගේ නිවැරදි දිවි පැවැත්මට යම් නොබිදිය හැකි වටිනාකමක් ලබා දී මනමාලයාට තම දුව ගැන ආඩම්බරයක් ඇති කිරීමයි … රචකයා කියන්නේ තම පරපුරම මේ ගෞරවය රැකගෙන තිබෙනවා කියලා ..
තව අදහස් තියේනම් කමෙන්ට් කරන්න …
miyurugee.weebly.com